Sunday, July 30, 2017

කණවැන්දුම් සකුන්තලා

කවි නොදන්න කාලිදාස
දෑසින් මුමුණන කවියක
පේලි දෙකක් ලියාගන්න
නිරිඳුනි යහනට වඩින්න

මියගිය තරුවක සලකුණු
කටුමැටි බිත්තියේ අඳින
සඳ එළියට හොරෙන් ඇවිත්
ගින්දර අවුලා නිවෙන්න

Monday, August 11, 2014

මතක රාක්ෂි

බට පා සටහන් පමණි,
පෙරලා
ගිය බවත් නැති..

නිසලයි දිවා කල
පස් පියුම් නොපිපුනද
කුඩ මසුන් රඟන නිති,
බිහිසුණුයි නිශායම
සලා වැටෙමින් හඬන
කඳුළු රසයම පතන..

යටගිය දවස,
අනාරාධිතව විත්
අරක්ගෙන,
තුන් කල්ම
රැ‍දෙනු රිසින්
සිත් විල..

Tuesday, July 15, 2014

ආදර කැස්ස


ඉදිකටු තුඩින් හදවතට ඇන්න
ලේ සිඳුන නහර වලින්,
කුප්පි වලට කඳුලු ගත්ත

හබ සාව, මුං සාව, බෙල් සාව
පැසවන වේදනාව
බෙහෙත් වතුරින් සෝදපු,
වේලුන තුවාල කඳුලින් තෙමපු,

සුර කුමරිය නුඹයි ඉස්පිරිතාලේ
නිරෝගියි හිත මීට වඩා
නුඹ දැක්ක මුල් කාලේ

පේරැස් මුදුවේ ආඩම්බරකමට
නිලංකාර වුනා ඇස්
රත්තරන්ද අහන්නත්
අමතක වුනා

නොවරදවම ක්ලිනික් ආව
සේලයින් බෝතල් අස්සෙත්
ඇයව සෙව්ව,
සංසාර දෝෂයට
ගිලන් වූ මා හද,
ගලවා ඉවතලනු මැන
බෙහෙත් පෝලිමට අරක්ගත්
ඉටු දෙවි කුලේ
ඇටෙන්ඩන් අයියන්ඩි
රුපියල් පනහේ පුද කැප ගෙන

සිහිනෙන්විත් හද අවුලන
පහනක් අතින් ගත්
යුවතිය නුඹ,
දොස්තර නලාවටත් හසු නොවී
ආදරේ සඟවාගත්
කාස රෝගියා මම...

Monday, June 23, 2014

රඟහල

නුඹ රඟනවා
මම බලනවා
නුඹ කරළියේ
මම ගැලරියේ
අපි,
එකම රඟහලේ

Thursday, May 22, 2014

නොදනිමි කාගෙ දොසා

ඇල්කොහොල් නිකටින් පිරිවරා
රජ ඇඳුම් උනා නුඹ එද්දි
ඉඳ හිට මොලවන ලිපවත්
දන්නේ නැ උහුලපු දුක් ගිනි

මද්දල‍ේ තාලයට පා තබා
ධනුද්දර වුනත් නුඹ කරලියේ
අන්තිම කඳුලත් උගස් කර
ගෙනාවේ හිමියනෙ කිරිපිටි

බිඳී පෙර කුල සිරිත්
වාසල් දොරටු වැසුන සඳ
සිරිනොබලාම බරණැස්
හිම ගිරට ආවේ අපි සතුටින්

කුටුම්භයේ බර දරා තනිවම
කඳුලක් හිත රුවා දිරියෙන් කලා යුද
දිවියේ ගිරිදුර්ග අතරින් හිතට පැන
උදුරාගත්තා වැදිරජ මඟදි අසිපත

නොතකාම පුරඟනන් සූදුහල්
මධුවිතට පමණක්ම ලොල් වෙච්ච
වෙන දොසක් වුනේ නැ කිසිදාක
මැරි මැරි උපදිනවා හැම රෑම

රැඟුම් අහවරව නුඹ
කරලියෙන් බහිනවා
හිස් කොපුව අත දරා
මම තාම රඟනවා

Monday, May 19, 2014

කටු අකුරු

නිල් අහස
බොල් පොළොව
මැද තෙරපුන,
ජීවිතේ
නන්නත්තාරෙ
ඇවිදිද්දි
හිතේ ඇනුන කටුයි මේ අකුරු
තාමත් සුසුම් හෙලන
ඉඳහිට ඇසුත් තෙමන